ගාලු කොටුව

497591483_cf90bafee8_mශ්‍රී ලංකා‍වේ ලන්දේසීන් විසින් ඉදිකල බලකොටු ලෙස ,මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, මීගමුව, කොළඹ, කළුතර, පුනරීන්, අලිමංකඩ, සීතාවක, කටුවන, මාතර හා මාතර තාරකා කොටුව පෙන්වාදිය හැකිය.ලන්දේසීන් විසින් ඉදිකල මෙම බලකොටු අතරින් ගාලු බල‍කොටුවට වැදගත් තැනක් හිමිවේ.ගාලු නගරයට දායාදයක් වු මෙම බලකොටුව අනෙකුත් බලකොටුවල‍ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර එහි තුළ වු ගොඩනැගිලි ප්‍රයෝජනවත් වැඩ සඳහා සකස් කර ඇති හෙයින් එය ජීවමාන ස්වභාවයක් උසුලයි.

1505 දී ගාලු නගරයට සම්ප්‍රාප්ත වු පෘතුගීසීන් ගාලු වරායේ උතුරු කෙළවරෙහි මුරකුටි තුනකින් යුත් කුඩා බලකොටුවක් ගොඩබිමෙහි සාදා ඇතැයි ඉතිහාසයේ සඳහන්වේ.ඔවුහු තම බල ප්‍රදේශය වු ගාල්ල ක්‍රමයෙන් අත්පත් කරගනිමින් සිටි අතර තුර හදිස්සියේම නැව් 12කින් යුත් 2000ක් පමණ භට පිරිසක් සමඟ පැමිණි ලන්දේසීන් පැය 4ක් ඇතුළත එහි තිබු “ශාන්ත ජාගෝස්” මුරකුටිය විනාශ කර දමා බලකොටුව අත්පත් කර ගෙන ඇත.පසුකාලයේදී ලන්දේසීන් විසින් මෙම බලකොටුව දකුණු දිශාවට පුළුල් කර ඇත.එහිදී “ශාන්ත ජාගෝස්” නම් මුරකුටිය නැවත සාදා ලන්දේසීන් විසින් “සැන් බැස්ටියන්” වශයෙන් නම් කර ඇත.

සිංහල රජවරුන් විසින් සතුරු බිය හා ආරක්ෂාව සඳහා ඉදිකල සීගිරිය, යාපහුව, නාලන්ද, බලන ආදී බලකොටුවල දිය අගල් පවුරු බැමි ලෙස යොදා ගෙන තිබුණි.එහෙත් ලන්දේසීන් විසින් ඉදිකල ගාලු බලකොටුවේ පවුර වෙනුවට යොදාගෙන ඇත්තේ ඉන්දියන් සාගරයේ එක් ඉවුරක්වීම සුවිශේෂ ලක්‍ෂණයකි.ගාල්ල ක්‍රීඩාංගණය ඉදිරියෙහි ඇති කොටු පවුරේ මුහුණත තිබු පවුරු බැම්ම හැර ඉතිරි තුන් පැත්තම වටවී තිබුනේ සමුද්‍රයෙනි.කොටු බැම්ම පුළුල් කිරීමේදී වැඩි වශයෙන් මුහුද ඇතුළට විශාල භූමි ප්‍රමාණයක් ඇතුළත් කොට බලකොටුවෙහි පවුරු බැමි ශක්තිමත් කරගත් බව සඳහන්වේ. ගාලු කොටු පවුර ලන්දේසි ආණ්ඩුකාරයින් වන රික්ලොෆ් වෑන් ගොයෙන්ස් හා ආද්‍රයන් වැන්ඩර් මේඩන් විසින් සැලසුම් කර ඇත. එහෙත් 1715 වන විටත් එය සැලසුමට අනුව නිම කිරීමට නොපිළිවන් වු බව සඳහන්වේ.

ගාලු නගරය‍ට ලන්දේසීන් විසින් දායාද කළ මෙම බලකොටුව තුළින් නගරයට විශේෂ සිත්කළු භාවයක් එක් කරයි.කපන ලද විශාල කළු ගලින් ගොඩනංවන ලද මෙම බලකොටුවේ පැති බැමි පොළව මට්ටමේ සිට අඩි 50 සිට 70 දක්වා උසට පිහිටා තිබීම බලකොටුවේ ප්‍රධාන අංගයක්සේ සැලකේ.මෙම පවුරු බැම්ම පළලින් අඩි 50ක් පමණවේ.

ලන්දේසීන් විසින් ආරක්‍ෂක මුරකුටි තුනක් ද නැවත ඉදිකර ඇති අතර වර්ෂ තුනකට පසු මෙම කුටි තුන නම්කර ඇත්තේ ඉර,හඳ,තාරකා යනුවෙනි.නම් තබන ලද අවස්ථාවේ ඔවුන් විසින් තෝරාගත් කාන්තාවන් තිදෙනකු (ගෘහණියක්, වැන්දඹුවක්, තරුණ කන්‍යාවක්)එක් මුරකුටියකට එක් අයෙකු බැගින් ත‍බා මෙම ආරක්‍ෂක මුර කපොළු මත සි‍ට තුවක්කුවකින් වෙඩි තැබීමට සලස්වා ඇත.

මෙම මුරකුටි තුනට අමතරව පසුකාලයේදී මුර කපොළු කිහිපයක් බලකොටුවට එකතුකරන ලදී.මෙම මුරකපොලු සහිත කුටි ඊසාන දිසාවේ සිට පිළිවෙළින් දැනට අළුත් ගේට්ටුව සවිකර ඇති ස්ථානය අසල සන් මුන් මුරකපොල්ල , ස්ටාර්, ඒලෝස්, ක්ලිපන්බර්ග්, නෙප්ටියුන්, ට්‍රිටන්, ෆ්ලැග්රොක්, යුට්රිච්(දැනට ප්‍රදීපා ගාරය ඇති ස්ථානය), අවුරෝරා (කච්චේරියේ සිට දකුණින්), ඇකර් ස්ලුට්, ෂැවර්ට්(පැරණි පෘතුගීසි බලකොටුව තිබු ස්ථානය)කමාන්ඩ්මන්ට්, පිෂ්මාර්ක්(දැනට ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට)යනාදියවේ.

බලකොටුවට නුදුරින් පිහි‍ටා තිබු කුඩා “ගිබට් දිවයින”පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් වැරදිකරුවන් එල්ලා මැරීමට පාවිච්චි කරන ලද අතර පසු කාලයේදී එය ගැඹුරු දියට යටවී ගිලා බැස ඇත.

බලකොටුවේ ඉදිරිපස පිහිටි ප්‍රධාන දොරටුවද, ඊට නැගෙනහිරින් පිහිටි අනෙක් දොරටුවද පැරණි නගරයට ඇතුල් විය හැකි ප්‍රධාන දොරටු ලෙස සැලකේ.අර්ධ කවාකාරව කළුගලින් නිමවා ඇති ආරුක්කු සහිත බිම්ගෙ‍ය පොළව මට්ටමේ සිට අඩි 20ක් පමණ උසින් සාදා තිබීමත් එම ආරුක්තු සහිත බිම් ගෙය තුළින් ප්‍රධාන මාර්‍ග සකස් කර පුරණි නගරයට ඇතුල් වීමට ප්‍රමාණවත් ඉඩකඩ සලසා ඇත.ඇතුල් වීමේ දොර‍ටු සඳහා සකස් කර ඇති ගේට්ටු පළුවල විශාලත්වය හා බර සලකා බැලීමේදී එක් ගේට්ටු පළුවක් ඔසවා ඉවත් කිරීමට කම්කරුවන් 15ක් පමණ යෙදීමට අවශ්‍යවේ.ඝනකම රවුම් යකඩ කූරු 4ක් මත දරා සිටින මෙම ගේට්ටු පළු වැසීමට අඩුම වශයෙන් කම්කරුවන් තිදෙනෙකුගේ සහ‍ය අවශ්‍යවේ.මෙම ගේ‍ට්ටුව වැසූකළ කොටුව තුළට ඇතුල් වීම අපහසුවේ.බලකොටුවට ඇතුල් වන ඊසාන දෙසින් ඇති ගේට්ටු සහිත දොරටු අද දක්වා හොඳින් පවතින අතර එය 1873 දී බ්‍රිතාන්‍යයන් විසින් සාදා විවෘත කර ඇත.1669 දී මෙම දොරට උඩින් ආරුක්කුවේ බිත්ති වල ඇති කළුගල් මත ලන්දේසීන්ගේ පැරණි වී.ඕ.සී.(VERENIGTE OOST INDISCHE COMPAGINE)ලාංඡනය කොටා ඇත.

1796 දී බ්‍රිතාන්‍යයන් විසින් ගාලු කොටුව අත්පත් කර ගැනීමෙන් පසුව බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ලාංඡනයද ආරුක්කුවට උඩින් කොටා ඇත.එමගින් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය ගාලු කොටුව පුරා විහිදී තිබු බව පැහැදිලිවේ.මේ අතින් බලන කල ලක්දිව විදේශ ජාතීන්ගේ ලාංඡන දෙකක් එකම ස්ථානකදී දැක ගැනීමට හැකිවීම ඉතා ආශ්චර්ය ජනකය.සාමාන්‍යයෙන් යම් ස්ථානයක් තවත් ජාතියක් විසින් යටත් කර ගැනීමේදී මෙවැනි රාජ්‍ය ලාංඡන විනාශ කර දැමීම සිරිතකි.එය විශේෂයෙන්ම කරනුයේ තම බල පරාක්‍රමය විදහා පෑමටයි.

වෙරලාසන්නව බලකොටුවේ ප්‍රාකාර බැම්ම දැකගත හැකිය. මෙහි ඇති ලන්දේසි ගොඩනැගිල්ල එකල සිරකරුවන් සඳහා සකස් කරන ලද්දක් වු අතර එයට සමීපව වෙඩි බෙහෙත් ගබඩාවක්ද තිබී ඇත.බ්‍රිතාන්‍යයන් ගාලු කොටුව අත්පත් කරගන්නා අවස්ථාවේදී බලකොටුව තුළින් ලන්දේසීන් විසින් පාවිච්චි කරන ලදැයි සැලකෙන යුද්ධෝපකරණ ලැයිස්තුවක් ද හමුවී ඇත.එහි උණ බම්බු සහිත රොකට් වෙඩි ද ඇතුලත්වී ඇති බව සඳහන්වේ.මෙම වෙඩි බෙහෙත් ගබඩාවට නුදුරින් රහස් උමඟක් ඇති අතර ඒ තුළින් රහසේ කොටුවෙන් පිටතට පැමිණිය හැකි වන ලෙස සාදා ඇත.

කොටු තාප්පයේ උතුරු දිසාව‍ට ඇති කොටස දිගින් අඩි 1900ක් පමණ වන අතර මෙම ස්ථානය ලන්දේසීන් විසින් “කළු බලකොටුව”ලෙස නම් කර ඇත. මෙහි සිට බැලු කල මුහුදු තීරයේ සැරිසරන යාත්‍රා දැක ගත හැකිය.එබැවින් ලන්දේසීන්ගේ බලය තහවුරු කෙරෙන අවධිවලදී මෙම ස්ථානය ප්‍රධාන මුරකපොල්ලක් බවට පරිවර්ථනය වී ඇතැයි සැලකේ.උතුරු දෙසට ඇති ප්‍රධාන දොරටුව සහිත කො‍ටු බැම්ම උමං පිහිටි ස්ථානයක් වන අතර එහි කාල තුවක්කු සවි කිරීමටත් මුර කපොලු ඉදි කිරීමටත් භාවිතා කර ඇති බවට ලකුණු තිබේ.පැරණි ඔරලෝසු කණුව මෙහි පිහිටා තිබු අතර එය කොටු බැම්මේ කැපී පෙනෙන අංගයක් ලෙස එය නෙත් සිත් ඇදගනී.

එමෙන්ම කොටු බැම්ම මත ගොඩනගා ඇති පැරණි ගොඩනැගිලි ලෙස සැලකෙන උසාවි ගොඩනැගිල්ල, වරාය අධිකාරියට අයත් සංචාරක නිවාසය, කච්චේරි ගොඩනැගිල්ල, ලන්දේසි වාස්තු විද්‍යා ලක්‍ෂණ පිළිඹිබු කරයි.එමෙන්ම ප්‍රදීපාගාරය, ප්‍රධාන දොරටුව අසල ඇති සමනල පාලම වැනි දෑ තුළින්ද බලකොටුවට අලංකාරයක් එක්කර ඇත.කො‍ටුව තුළ පිහිටි පෙස්බිටිරියන් පල්ලිය ලන්දේසීන්ගේ ප්‍රධාන දේවස්ථානය වී ඇතැයි සැලකේ.එමෙන්ම කොටුව තුළ පසුකාලීනව බෞද්ධාරාමයක්ද, මුස්ලිම් පල්ලියක්ද, කොටුවෙන් පි‍ටත හින්දු කෝවිලක්ද ඉදිකර ඇත. 1974 වසරේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගාල්ල පැරණි බලකොටුව ආරක්‍ෂක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.මෙලෙස ගාලු බලකොටුව ගාලු නගරයට සිත්කළු බවක් එක් කරන අතරම ලංකා ඉතිහාසයේ පැරණි ශ්‍රී විභූතිය විදහාපාන අංගයක් වී ඇත.

දුවිලි ඇල්ල

dsc00232 සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි 15 ක් මග ගෙවා යන විට දූවිලි ඇල්ල ට හැරෙන අතුරු මාර්ගය හමුවේ.

බලන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් දූවිලි ඇල්ලට යන මාර්ගය සහ දූවිලි ඇල්ල අවට පරිසරය නඩත්තු කරමින් සංචාරකයන් උදෙසා සනීපාරක්ෂක පහසුකම් සහ විවේක ගැනීමේ පහසුකම් සපයා ඇත.

දිවා කාලය විවේකයෙන් ගත කිරීමට සුදුසු සුන්දර පරිසරයක් ඇතත් පාළු වනාන්තර පසුබිමක දූවිලි ඇල්ල පිහිටා ඇති බැවින් කණ්ඩායම් වහයෙන් පැමිණීම වඩාත් සුදුසුවේ.

වලවේ ගගේ ගග සම්පුර්න අති විශාල ජල ධාරාවම කදු මුදුනේ සිට බෑවුමට ඇද හැලී දූවිලි ඇල්ල නිර්මාණයවේ.

සංචාරක නේවාසිකම් සුලබ බෙලිහුල්ඔය සිට පැය 1.5 ක පමන කාලයකින් ලගාවිය හැකි දුරකින් දූවිලි ඇල්ල පිහිටා තිබේ .

බෝගොඩ පාලම

picture-1871

මහනුවර යුගයේ ඉදිකරන ලද පාලමක් ලෙස සැලකෙන “බෝගොඩ පාලම “ සම්පුර්නයෙන්ම දැවමයය නිර්මානයකි. මෙම පාලම පුරා වස්තුවක් ලෙස රක්ෂිතය.            ගල්ඇන්ද ඔය හරහා පාලම ඉදිකර ඇත.

ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හාලිඇල නගරයේ සිට ඇති අතුරු මගෙන් මෙම පාලම ඇති ස්ථානයට ලගාවිය හැක. කොළඹ-බදුල්ල මාර්ගයේ ( A 4 –බෙරගල දක්වා බෙරගල සිට A 16 බදුල්ල දක්වා මහා මාර්ගයේ හාලි ඇල්ල නගරය හමුවේ. )

මහනුවර යුගයේ බදුල්ල – මහනුවර යාකල මාර්ගයේ ඉදිකල අපූර්ව නිර්මානයක් වන මෙම පාලම අසලින් බෞද්ධ සිද්ධස්ථානයක් පිහිටා ඇත.වලගම්බා රජතුමා කලක් සැගවී සිටි ස්ථානයක් ලෙස සැලකෙන ගල්ලෙනආශ්‍රිතව ඉදිවු මෙම විහාරස්ථානය බෝගොඩ රජ මහා විහාරය ලෙසින් හැදින්වේ.

සමනලකන්ද

sripadeyaමුහුදු මට්ටමේ සිට අඩි 7360 ක් උසින් පිහිටි සමනල කන්ද එසේත් නැතිනම් ශ්‍රී පාදය සියලුම ආගමිකයන්ගේ ගෞරවයට ලක් වූ පූජනීය සිද්ධස්ථානයකි. මහාවංසය පවසන ආකාරයට සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සිය වම් පා සලකුණ මේ කඳු මුදුනේ පිහිටුවා ඇත. වෙනත් ආගමිකයන්ගේ අදහස අනුව එම ආගමිකයන්ගේ ශාතෘන්වරුන්ගේ පා සලකුණ මේ කන්දේ පිහිටුවා ඇත.

විජයබාහු රජු ශ්‍රී පාදය වෙත යන්නන්ට හා එය ආරක්ෂා කරන භික්ෂූණ් වහන්සේලාට කළ සත්කාර ගැන ද මහාවංසයේ 60 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. ගිලීමලය ගම (වර්තමාන රත්නපුර මාර්ගයේ යද්දී හමුවන නගරයකි) ඒ සඳහා පූජා කර තිබේ. කෙසෙල් ගම් මග හා ඌව ගම් මග යන මාර්ග වලින් යන්නන් සඳහාද එවැනි ගම් වෙන්කළ බවත් වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව තවත් රජවරුන් ගණනාවක් යටතේ සිරිපා බිමට කළ පුද සත්කාර ගැන මහාවංසයේ වරින්වර සඳහන් වී තිබේ. මහපැරකුම්බා, නිශ්ශංකමල්ල යන රජවරුන් සිරිපා ගිර තරණය කර එය වැඳ පුදාගෙන තිබේ. ඉබන්බතූතා, පාහියන් වැනි දේශ සංචාරකයෝද සිරීපාද කන්දට නැග ඇත.

සිරිපා වන්දනා කිරීමේ වාරය සෑම වසරකම උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වී වෙසක් පොහොය දිනයෙන් අවසන් වේ. මේ මාස 6ක කාලය පුරා රත්නපුර – පලාබද්දල, එරත්න – කුරුවිට හා හැටන් යන මාර්ග 3 ඔස්සේත් තවත් එතරම් ප්‍රකට නොවු කැලෑ මාර්ග ඔස්සේත් දහස් සංඛාත පිරිසක් සිරිපා කරුණා කරති. සෙසු මාස 6ක කාලය අවාරය වශයෙන් හදුන්වන අතර එය වන්දනාකරුවන් නොයන කාලයයි. නමුත් වර්තමානයේදී මේ කාලයේත් යම් පිරිස් සිරිපා ගිර තරණයේ යෙදෙති.

එරත්න පාර මේ මාර්ග අතරින් වඩාත් දීර්ඝතම මාර්ගයයි. හැටන් පාර කෙටිම පාරයි. මේ මාර්ග 3 දීම සීත ගඟුල හමුවුවත් පිරිසිදු හා හොඳම ගඟුල හමුවෙන්නේ එරත්න මාර්ගයේදීය. හැටන් මාරගයෙන් යද්දී හමුවන ස්ථානයන් අතරින් ජපන් සාම චෛත්‍යය විශේෂ වේ. සංචාරක අත්දැකීමක් වශයෙන් ගත් විට එරත්න හා පලාබද්දල මාර්ගයන් වඩාත් අපුරු අත්දැකීමකට මගපාදනු ඇත. ලේසියෙන්, ඉක්මනින් සිරීපාදේ යන්න කැමති අයට නම් හැටන් සුදුසුම පාරයි.

කොයි පාරෙන් ආවත් උඩමළුවට එන ඕනෑම කෙනෙක් සිරිපතුල වැද පුදා ගැනීමෙන් පසුව දැකීමට කැමතිම දර්ශනය ඉර සේවයයි. ඒස‍ඳහා ඉර නැග එන වේලාවට මළුවට ගොස් සිටිය යුතු අතර සුදුසු වටපිටාවක්ද තිබිය යුතුය. අපි 2005 වසරේ ගත් මෙම ඡායාරූපයන් අළුයම ගත් ඒවා වුවද එදා ඉර සේව නිසි පරිදි දිස්වූයේ නැත. එක් පැත්තකින් ඉර නැග එද්දී අනිත්පස සිරීපාදයේ හෙවනැල්ල වැටී ඇති ආකාරයත් බැලීමට වටිනා දර්ශනයකි.

1940 ඔක්තෝම්බර් 25 වන දින ශ්‍රී පාද වන බිම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වන බිමට හෙක්ටයාර 22380 ක භූමි ප්‍රමාණයක් අයත් වේ.

නෝර්ටන් බ්‍රිජ් විදුලි බලාගාරය ඉදි කිරීමේදි වුන බාරයක් අනුව යමින් 1948 මාර්තු මාසයේ සිරිපා මළුවට විදුලි ආලෝකය ලබාදීමත් මෙම ස්ථානයේ මෑත ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.

කතරගම දෙවියන් සම්බන්ධ ඓතිහාසික තොරතුරුවලින් බිඳක්

180px-කතරගම_දෙවියෝ1ලංකාවේ දෙවිවරුන් අතර ප්‍රධාන වශයෙන් පුද පුජා ලබන්නාහු කතරගම දෙවියෝ වෙති.ස්කන්ධ කුමාර කාර්තිකේය ආදි නම් වලින් සිංහලයන්ද මුරුගන් වේළුපිල්ලේ කන්දසාමි ආදි නමින් දෙමළ ජනයාද හඳුන්වනුවෝ මේ දෙවියෝම වෙති.මුහුණු හයක් සහ අත් 12 ක් ඇතැයි සැලකෙන ඔහුගේ වාහනය මයුරෙකි.ප්‍රධාන දේවාලය කතරගම පිහිටා ඇති අතර ලක්දිව පුරා අන්‍ය කිසිම දෙවි කෙනෙකුට වඩා වැඩි දේවාල ගණනක් මේ දෙවියන්ගේ නමින් ඉදිවී ඇත.කතරගම දෙවිඳුගේ උපත ගැන භාරතීය දේව කතාවල ප්‍රධාන මත 4ක් පවතී.මීට අමතරව මෙම දෙවියන් බුද්ධවර්ෂාරම්භයට පෙර කතරගම නුවර විසූ මහාසේන රජතුමා යයි කියා ද ඉන්දියාවේ සිට මෙහි පැමිණ පදිංචි වූ යුද්ධ දක්ෂයකු මරණින් පසු දේවත්වයට පත්වීමකැයි කියා ද මතයක් ඇත.කතරගම දෙවියන් සම්බන්ධවන ප්‍රකට සිද්ධි කිහිපයක් ලංකා ඉතිහාසයේ ඇති බව ජනප්‍රවාදයේ පවතී.ඉන් එකක් ලෙස දුටුගැමුණු රජතුමා එළාර හා යුද්ධයට යනවිට කතරගම දෙවියන්ට භාරයක් වී යාම හා යුද්ධය දිනා කතරගම දේවාලය තැනවීමයි. ස්කන්ධ දෙවියන් ලක්දිව සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස පළමු වරට සඳහන් වන්නේ 14වන සියවසට අයත් නිකාය සංග්‍රහයෙහිය.කෙසේ නමුත් ලක්දිව සිංහල දෙමළ මෙන්ම වැදි ජනයා අතරද කතරග දෙවියන් සම්බන්ධ පුරාණ කතා ඇත.වැදි ජනයා අතර පවතින කන්දේ දේව විශ්වාසය තුල කතරගම පවතින දේවාලයේආරම්භය දැකිය හැකිය යන්න සෙලිග්මාන් පඬිවරුන්ගේ අදහසයි.කතරගම දෙවියන් හා වල්ලි අම්මා අතර විවාහය වනාහි දඩයම් කරුවන් හා කෘෂිකාර්මික ජනයා අතර සමාජ සංස්කෘතික සම්මිශ්‍රණය සංකේතවත් කරන සිද්ධියක් බව ගොම්බ්‍රිජ් සහ ඔබේසේකර යන වියතුන්ගේ මතයයි. හින්දු විශ්වාසය අනුව මොහු යුද්ධයට අධිපති දෙවියෙකි.මේ දෙවියන්ගේ උපත ගැන බ්‍රහ්ම පුරාණය වායු පුරාණය මතස්‍ය පුරාණය ආදි ග්‍රන්ථවල තවත් පුරාවෘත්තයන් සඳහන්ය.ඒ අනුව එතුමාගේ උත්පත්තිය සිදුවී ඇත්තේ සුරාසුර යුද්ධයේදී පරාජයට පත්වෙමින් සිටින සුරයන්ගේ හමුදාවේ නායකත්වය දැරීමට හමුදාපතියකුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහාය.එහිදී ශිව සහ පාර්වතී දෙදෙනාගේ දීර්ඝ කාලීන සංගමයෙන් ඇති වූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට භාර දී ඇත.මෙය අග්නි දෙවියන් විසින් ගංඟා දේවියගේ ගර්භයෙහි තැන්පත් කොට ඇත.ගංඟා දේවිය එය මහා මේරු පර්වතයේ තැන්පත් කර ඇත.එසේ තැන්පත් කල බීජය කන්‍යාවන් 6 දෙනෙකු විසින් පෝෂණය කර ඇති අතර මුහුණු හයකින් යුත් දරුවකු බිහි විය.මේ ආකාරයට කතරගම දෙවියන්ගේ උපත සම්බන්‍ධ විවිධ මත පවතී.Kataragama2

කතරගම දේව ඇදහිල්ල හා සම්බන්ධ වත් පිළිවෙත්.

කතරගම දෙවියන් උදෙසා සිදු කරන පුද පූජා හා වත් පිළිවෙත් පිළබඳ අධ්‍යයනයේදී අපගේ දේශීය සංස්කෘතික අංගයන් මැනවින් ඉස්මතු වේ.ක්‍රි.ව.1765 දී ලන්දේසි ආණඩුකාර ඇල්ක් විසින් භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියට ලැබුණු පිළිතුර සඳහන්ව ඇති කතරගම දෙවියන් සහ පුද පූජා විධි නමින් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ එම්.එස්.එස්.13 දරණ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බැලීම මෙහිදි වැදගත් වේ. එහි සඳහන්ව ඇති ආකාරයට කතරගම දෙවිඳුට පුද පූජා පැවැත්වීමේ උත්සවය ජුලි මස පුර පසළොස්වක පළමු දිනයේ සිදුවේ.දේවාල පෙරහැර පහත ආකාරයෙන් සිදු වේ. මහ බෙත්මෙ රාළ කුඩා බෙත්මෙ රාළ බස්නායක රාළ කුඩා කපු රාළ හා අනෙකුත් පහත් සේවකයින්ද ස්ත්‍රීන් 16 දෙනෙක් ද පෙරහැරේ ගමන් ගනිති.මධ්‍යයේ ගමන් ගන්නා වු ප්‍රධාන ඇතුමත වු මණ්ඩපයේ කතරගම දෙවිඳු හා රන් කරඬුව තැන්පත් කොට ඇත.දෙපසින්ම ඇතුන් මත සිටින කපු රාළලා සෙමෙර සලති.ප්‍රධාන ඇතු ඡත්‍ර දරා සිටිති.කහ දියර පිරවූ තඹ බඳුන් අතින් ගත් ස්ත්‍රීන් අට දෙනා බැගින් දෙපසෙහි සිට සුභ පතති.විවිධ බෙර හා තූර්ය වාදනයන්ගෙන් ද පන්දම් වලින් යුතු පෙරහැර මේ පිටු පසින් ගමන් ගනිති….. මේ ආකාරයට මේ ලිපියේ සඳහන් කරුණු ගැන සැලකිලිමත් වීමෙදී ගුණදාස අමරසේකරයන් නිර්වචනය කරන ලද සංස්කෘතියේ ලක්‍ෂණ පැහැදිලි වේ.එනම් සංස්කෘතිය යනු ජන සංඛ්‍යාවක් නැතහොත් ජාතියක් විසින් අනාදිමත් කාලයක් තිස්සේ එක් රැස් කරන ලද එම ජාතියට සුවිශේෂ වූ විඤ්ඤානය චින්තනයයි. අප ජාතියට සුවිශේෂ වූ විඤ්ඤානය චින්තනය හෙලි දරව් කරන කතරගම දේව විශ්වාසයේ එක් අංගෝපාංගයකි කතරගම ඇසළ පෙරහැර.